ඉගෙන ගන්නා ඔබට සුදුසු කාලසටහනක්

සෑම ශිෂ්‍යයෙක් ම තම වැඩකටයුතු යම්කිසි සැලසුමකට අනුව සිදු කළ යුතු ය. සැලසුමකට අනුව කටයුතු කිරීමෙන් තමාට ලැබී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ය.

ඉගෙන ගන්නා ඔබට සුදුසු කාලසටහනක්

අපි හැමෝට ම දිනපතා අඩුවකුත් නැතිව වැඩියකුත් නැතිව පැය 24ක් විනාඩි 1440ක් තත්ත්පර 86400ක් ලැබේ. අපිට පේන්න තියෙන දෙයක් තමයි සමහර අය දවසක් තුළ වැඩියෙනුත් සමහර අය අඩුවෙනුත් වැඩ නිම කරනවා. වැඩියෙන් කාර්යක්ෂම ව වැඩ නිම කරන අය සැලැස්මකට/කාලසටහනකට වැඩ කරන අය. සරල කාලසටහනක් හිතේ තියාගන්න පුළුවන්. ඒත් අපේ ජිවිතය සංකීර්ණ වෙනකොට, කරන්න තියෙන වැඩ වැඩි වෙනකොට අපිට කාලසටහන හිතේ තියාගන්න අමාරු වෙනවා. එතකොට අපිට කාලසටහන සටහන් කර ගන්න ම වෙනවා.


Planning is the mother of almost every other ability. Make your plan and set a timetable for its accomplishment in writing.

කාලසටහනක් හදනකොට සමබර කාලසටහනක් හදා ගන්න ඕනේ. ආහාර ගැනීමට, නිදා ගැනීමට, විවේකයට, පොත් කියවීමට, විනෝදාස්වාදය සඳහා, අධ්‍යාපන කටයුතු සඳහා ආදී වශයෙන් තමන්ට තියෙන සෑම වැඩක් සඳහා ම කාලය වෙන්කරන්න ඕනේ. එක් එක් පුද්ගලයාට ගැළපෙන කාලසටහන එකිනෙකට වෙනස්. ඒ හින්දා තමන්ට ගැළපෙන කාලසටහනක් හදා ගන්න ඕනේ තමන් ම තමයි.


මම පහතින් දක්වලා තියෙන්නේ අ.පො.ස. (උසස් පෙළ) සිසුවෙක්ට සුදුසු කාලසටහනක දළ ආකෘතියක්. මේ විදියට ම වැඩ කරන්න අවශ්‍ය නැහැ. මේ ආකෘතිය අනුව ඔබට ගැළපෙන කාලසටහනක් ඔබ සකස් කර ගන්න.


  • පෙ.ව. 5.00 අවදිවීම
  • පෙ.ව. 5.00 - පෙ.ව. 5.30 මුහුණ සේදීම සහ දිනයට සූදානම් වීම
  • පෙ.ව. 5.30 - පෙ.ව. 6.30 අධ්‍යාපන කටයුතු
  • පෙ.ව. 6.30 - පෙ.ව. 7.00 උදෑසන ආහාරය
  • පෙ.ව. 7.00 - පෙ.ව. 8.00 අධ්‍යාපන කටයුතු
  • පෙ.ව. 8.00 - පෙ.ව. 10.00 අධ්‍යාපන කටයුතු
  • පෙ.ව. 10.00 - පෙ.ව. 10.30 විවේකය
  • පෙ.ව. 10.30 - පෙ.ව. 11.30 අධ්‍යාපන කටයුතු
  • පෙ.ව. 11.30 - ප.ව. 12.30 රෙදී සේදීම සහ ස්නානය
  • ප.ව. 12.30 - ප.ව. 1.00 දිවා ආහාරය
  • ප.ව. 1.00 - ප.ව. 3.00 අධ්‍යාපන කටයුතු
  • ප.ව. 3.00 - ප.ව. 3.30 විවේකය
  • ප.ව. 3.30 - ප.ව. 5.30 අධ්‍යාපන කටයුතු
  • ප.ව. 5.30 - ප.ව. 6.00 විවේකය
  • ප.ව. 6.00 - ප.ව. 8.00 අධ්‍යාපන කටයුතු
  • ප.ව. 8.00 - ප.ව. 8.30 රාත්‍රී ආහාරය
  • ප.ව. 8.30 - ප.ව. 9.30 අධ්‍යාපන කටයුතු
  • ප.ව. 9.30 - ප.ව. 10.00 පසු දිනට සූදානම් වීම
  • ප.ව. 10.00 නින්දට යෑම

මේ කාලසටහන් ආකෘතිය හදලා තියෙන්නේ දවස ම ගෙදර ඉන්න දවසකට ගැළපෙන්නයි. යෙදෙන පන්ති, ගමන්, උත්සව, අදියට ගැළපෙන්න කාලසටහන හදා ගන්න ඕනේ. උදාහරණයක් විදියට උදේ 8-11 පන්ති තියෙනවා නම් පන්ති යෑමට සූදානම් වීමේ ඉඳලා පන්ති ඉවර කරලා ගෙදර අවාට පස්සේ පිරිසිදු වීමේ කටයුතු පවා කාලසටහනට යොදන්න වෙනවා.


එතකොට දිනපතා කාලසටහන හදන්න වෙනවා ද?

ඔව්. ඒකට වෙලාවක් වෙන් කර ගන්න තමයි පසු දිනට සූදානම් වීම කියලා කාලසටහනේ යොදලා තියෙන්නේ

ඊයේ දවස විදියට නෙවෙයි අද දවස ගත වෙන්නේ. අද විදියට නෙවෙයි හෙට ගත වෙන්නේ. ඒ නිසා සෑම දවසක ම රාත්‍රී නින්දට කලින් අපි හෙට දවසේ වැඩ සැලසුම් කරලා ඉන්න ඕනේ.


කාලසටහනක් බිත්තියේ අලවලා වැඩක් නැහැ. කාලසටහනට අනුව වැඩ කරන්න ඔනේ. කාලසටහන දිනපතා වෙනස් වෙනවා. ඒ නිසා බිත්තියේ අලවපු කාලසටහනකින් වැඩක් නැහැ.

හදා ගත්ත කාලසටහනට වැඩ කරන්න බෑනේ?

කාලසටහන හදා ගත්තේ තමන්මයි. ඒ නිසා ඒකට වැඩ කන්න බැරි නම් වග කියන්න ඕනේ කාලසටහන හදා ගත්ත කෙනා ම තමයි.

හදාගත්ත කාලසටහනට වැඩ කරන්න බැරි වුණා නම් හෙට කාලසටහන හදනකොට ඒ ගැන සැලකිලිමත් වෙලා හෙට කාලසටහන හදන්න. එතකොට හෙට අදට වඩා හොඳට වැඩ කරන්න පුළුවන් වෙයි. ඊළඟ දවසේ කාලසටහන හදනකොට තවත් සාර්ථක එකක් හදා ගන්න පුළුවන් වෙයි. කාටවත් එකසැරේ හරියට ම හරියන කාලසටහනක් හදන්න බෑ


“The Road to Success is Always Under Construction

කාලසටහනට පිටින් වැඩ වැටුණා ම මොක ද කරන්නේ ?

වැඩ වැටුණොත් අයින් වෙන්න. තැලිලා යන්න පුළුවන්. (විහිළුවක්)

බොහෝ වෙලාවට අපිට සැලසුමෙන් පිට වැඩ යෙදෙනවා. එතකොට කරන්න තියෙන්නේ බොහො ම සරල දෙයක්. සැලසුමේ තියෙන වැඩේ එක්ක යෙදුණු වැඩය සංසන්දනය කරලා වටිනාක ම වැඩි වැඩය තෝරා ගන්න එක.


මගේ කාලසටහනට වැඩ කරන්න ගියාම ටිකක් කරදරයි. එතකොට?

කාලසටහන සුදුසු පරිදි සංශෝධනය කර ගන්න.

කාලසටහනේ රාත්‍රී ආහාරය සඳහා 8.30-9.00 යොදා ගෙන තියෙනවා. ඒත් අම්මා උයලා ඉවර කරලා 7.30ට කන්න එන්න කියලා කතා කරනවා. දැන් මොක ද කරන්නේ? ගොඩක් දරුවෝ කරන්නේ අම්මා එක්ක වලියට යන එක. 7.30-8.00 කියන පැය බාගය රාත්‍රී ආහාරය වෙනුවෙන් අරගෙන 7.30-8.30 පැය ඇතුළත කරන්න තිබුණ දේ 8.00-9.00 පැය ඇතුළත කරන්න. අම්මත් සතුටින්. කාලසටහනත් සතුටින්.


කාලසටහන කියන්නේ හිර ගෙදරක් නෙවෙයි.

එහෙම නම් කාලසටහනක වැඩ කරලා ලැබීලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අ.පෙ.ස. (උසස් පෙළ) විභාගය ජය ගැනීමට මේ උපදෙන් උපකාර කර ගන්න. ඒ වගේ ම කාලසටහනකට වැඩ කිරීම ජීවිත කාලයට ම වැදගත් වෙනවා කියලත් අමතක කරන්න එපා.


Cover Image is designed using resources from Freepik


About

Let’s make great things together!

Mr. Amila Senadeera is a graduate from University of Peradeniya, Faculty of Engineering. As he was interested in teaching, he choose to teach chemistry as a Pioneer of Chemistry, Henry Louis Le Châtelier. At the moment he is a professional chemistry lecturer. Meantime he writes books for Advanced Level students in Sri Lanka.

His most recent project is AMILAGuru YouTube channel. This is one project in that channel which provides answers to Chemistry past paper questions.